An English summary of this report is below. The original report, published in Sinhala in The Leader, follows.
As the country marks four years since the X-Press Pearl maritime disaster that devastated Sri Lanka’s western coastline, journalist Saroj Pathirana revisits the slow-moving legal efforts for accountability and compensation — both from the shipowners and the Sri Lankan state.
Delayed Legal Action: The lawsuit filed by Sri Lanka’s Attorney General’s Department against the shipowners has yet to proceed to formal hearings. The process remains stalled pending a final ruling by the British High Court on limitation proceedings initiated by the ship’s insurers.
Captain Still Grounded: The vessel’s captain, Vitaly Tyutkalo, remains in Sri Lanka under a travel ban due to ongoing criminal charges. He has not been permitted to leave the country since the incident.
Fundamental Rights Cases Ongoing: The Supreme Court of Sri Lanka is currently hearing four Fundamental Rights petitions filed by fishermen, environmentalists, and community leaders. A verdict is expected in the coming months.
Damages Still Disputed: A government-appointed panel of local scientists estimated interim damages at USD 6.4 billion. However, petitioners argue that the true figure should be at least USD 10 billion, citing long-term environmental, economic, and health impacts.
Minimal Compensation Received: Sri Lanka has so far received only around USD 15 million in compensation. Alarmingly, approximately USD 13.5 million of that has already been spent on legal proceedings, raising concerns about the net benefit to affected communities and the environment.
As legal delays drag on and costs mount, questions loom large: Will Sri Lanka ever receive full compensation for one of the worst marine pollution disasters in its history - or will justice continue to be elusive?

As a nonprofit journalism organization, we depend on your support to fund more than 170 reporting projects every year on critical global and local issues. Donate any amount today to become a Pulitzer Center Champion and receive exclusive benefits!
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර හතරක් - ලංකාවට වන්දිය අහිමි වේවි ද?
නයිට්‍රික් අම්ලය කාන්දුවෙන කන්ටේනරයක් ඇතුළු කන්ටේනර් 1486ක් පටවගෙන, කහපාට දුමාරයකුත් පිටකරගෙන X-Press Pearl නෞකාව ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වුණේ 2021 මැයි 19 වෙනිදා. ඒ කියන්නේ අදින් අවුරුදු හතරකට කලින්.
ඊට පස්සේ සිද්දවුණ දේ ලංකාවේ හැමෝම දන්නවා. ඒ ව්‍යසනය සැලකෙන්නේ නෞකාවකින් සිදුවුණ ලෝකේ බරපතලම ප්ලාස්ටික් කැබලිති සමුද්‍ර දූෂණය සහ බරපතලම රසායනික දූෂණයක් විදියට.
මේ ව්‍යසනයෙන් ලංකාවේ සමුද්‍රීය පරිසරයට, සමුද්‍ර ජීවීන්ට, ධීවර ප්‍රජාවට සහ සමස්තයක් වශයෙන් ලංකාවට සිද්දවුණ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලලා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවේ පවරපු සිවිල් නඩුවේ විභාගය තවමත් ආරම්භ වෙලා නැහැ.
ඒ නඩු විභාගය ආරම්භ වෙන්නේ, ව්‍යසනය වෙනුවෙන් ගෙවන වන්දිය ඩොලර් මිලියන 25කට සීමාකරන්න කියල බ්‍රිතාන්‍ය අධිකරණයක පවරලා තියෙන නඩුව අවසන් වුණාට පස්සේ.
ඒ අතරේ නීතිපති දෙපාර්තමේන්තුව නෞකාවේ දේශීය නියෝජිත සමාගම ඇතුළු පාර්ශවකරුවන්ට විරුද්ධව ලංකාවේ අධිකරණයේ පවරපු අපරාධ නඩුවේ චුදිතයෙක් වන නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo ට අද වෙනතුරුම ලංකාවෙන් පිටවෙන්න තහනම්.
මේ දවස්වල තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙනවා. ඒ, කාදිනල් මැල්කම් රන්ජිත්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමග ධීවරයින් පිරිසක්, ආචාර්ය අජන්තා පෙරේරා සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් පවරපු මූලික අයිතිවාසිකම් පෙත්සම්.
මම මාස ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයට සහභාගි වුණා. දෙපැත්තම මතුකරන තර්ක, විතර්ක අහගෙන හිටිය.
හානිය කීයද?
සමුද්‍රීය පරිසර අධිකාරිය පත්කරපු විශේෂඥ කමිටුවේ දෙවෙනි අන්තර්වාර වාර්තාවේ කියන විදියට එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ලංකාවට සිදුවුණ හානිය ඩොලර් බිලියන 6.4ක්. නමුත් ඒක අවසාන තක්සේරුව නෙවෙයි. විශේෂඥ කමිටුව කියන්නේ ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වල තමයි අවසාන තක්සේරුව කරන්න වෙන්නේ කියල.
ව්‍යසනයේ සැබෑ හානිය අඩුම ගානේ ඩොලර් බිලියන 10ක් වත් විය යුතුයි කියන එක තමා ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ වගේ පරිසරවේදීන්ගේ මතය.
ඒක අවසාන වාර්තාව නොවෙයි නම් ඇයි මීපා ආයතනය ඒ විශේෂඥ කමිටුවේ කාලය දීර්ඝ නොකළේ ? මට දැනගන්න ලැබුණ විදියට 2023 ජනවාරි මාසෙන් පස්සේ කමිටුවේ කාලය දීර්ඝ කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිල නැහැ.
ඒත් නෞකා සමාගම කියන්නේ නැව ගිනිගන්න වෙලාවේ ලංකාවේ බලධාරීන් වහාම පියවර ගන්න සමත්වුණේ නැහැ කියල. ඒ නිසා ඩොලර් බිලියන 6.4ක තක්සේරුව කිසිසේත්ම පිළිගන්න බැහැ කියල තමයි නෞකා සමාගමේ තර්කය වෙලා තියෙන්නේ.
විශේෂයෙන්ම විශේෂඥ වාර්තාවෙන් ඩොලර් බිලියන 3ක් පමණම වෙන්කරලා තියෙන්නේ කැස්බෑවන්ට සිදු වුණ හානිය වෙනුවෙන් වුණත්, කැස්බෑවන්ගේ මරණ පරීක්ෂණ සියල්ලේම පාහේ මරණයට හේතුව ගැන නිගමනයකට එළඹිලා නැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්නලා දුන්න. එහෙම අසම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරලා ඩොලර් බිලියන තුනක් ඉල්ලන්නේ කොහොමද කියල ඔහු ප්‍රශ්න කළා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තවත් විශේෂ කරුණක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළා. ඒ තමයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධ පූර්ණ අධිකරණ බලය සිංගප්පූරුවට පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සහ නෞකා සමාගම සම්මුතියකට අත්සන් කරලා තියන බව. ඒ බව අනාවරණය කෙරුණ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පුදුම වුණා.
වරද ලංකාවෙලු!
නෞකා සමාගම දිගටම කියන්න උත්සහ කළේ ලංකාවේ අදාළ ආයතන තමන්ගේ වගකීම ඉටු කළා නම්, ගින්න නිවන්න නැවට සහයෝගය දුන්න නම් මේ ව්‍යසනය වලක්වගන්න තිබුණ කියල.
ඒත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ දිගින් දිගටම කිවුවේ නයිට්‍රික් අම්ල කාන්දුවට පිළියම් යෙදීම සහ ගින්න නිවා ගැනීම නෞකාවේ වගකීමක් කියල. ඒ සඳහා නෞකාවට පහසුකම් සැලසීම පමණයි ලංකාවේ ආයතනවල වගකීම කියල නෙරින් පුල්ලේ අවධාරණය කළා.
රොමේෂ් ද සිල්වා ඒ අතරේ තවත් තර්කයක් මතු කළා. හාබර් මාස්ටර් නිර්මාල් ද සිල්වා 2021 ජුනි 03 වෙනිදා මාධ්‍ය හමුවකදී කරපු ප්‍රකාශයක් ඔහු උපුටා දැක්වුවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දුව එතරම් බරපතල සිදුවීමක් නොවන බව නිර්මාල් ද සිල්වා එතෙන්දි සඳහන් කරනවා. රොමේෂ් ද සිල්වා මතු කළ බොහෝ කරුණු සනාථ වුණොත් ඇත්තටම මේ ව්‍යසනය වෙනුවෙන් ලොකු වන්දියක් ලැබේවිද කියන එක සැක සහිතයි.
ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙ හැසිරීමයි, ජනාධිපති අනුර කුමාර යටතෙ හැසිරීමයි අතරෙ දැවැන්ත වෙනසක් තියෙනව. ලංකාවට එන්න කලින් නයිට්‍රික් අම්ල කාන්දුව දැනුම් දුන්නෙ නැහැ කියල අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ නෞකා සමාගමට චෝදනා කළා. ඒ වගේම නෞකාවෙ තිබුණ භාණ්ඩ (dangerous goods) ගැන හිතාමතාම බොහෝ කරුණු වසං කළා කියල දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ඔහු පෙන්නල දුන්න. ඔහු කිවුවෙ, නෞකාවට අවශ්‍ය වෙලා තිබුණෙ ලංකාව කුණු බක්කියක් විදියට පාවිච්චි කරන්නයි කියල.
පැහැදිලිවම රොමේෂ් ද සිල්වා ගේ උත්සාහය වෙලා තිබුණේ ලංකාවේ බලධාරීන් පැත්තට බොලේ පාස් කරලා ගෙවිය යුතු වන්දි මුදල අඩුකර ගැනීම. ව්‍යසනය වෙලාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා ආයතනයේ) හැසිරීමත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ විවේචනයට ලක්වුනා. ඇත්තෙන්ම ඒ වෙලාවේ මීපා ආයතනය ගත් පියවර ප්‍රමාණවත් ද කියල විභාගය අතරවාරයේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුත් කිහිප වතාවක්ම ප්‍රශ්න කළා. පෙත්සම්කරුවනුත් මීපා ආයතනය විත්තිකරුවෙක් විදියට නම් කරලා තියෙනව.
ව්‍යසනය වෙලාවේ මීපා ආයතනයේ සභාපති ධුරය දැරුවේ නීතිවේදිනී දර්ශණී ලහඳපුර. ඇයත් මේ පෙත්සම්වල විත්තිකාරියක්. මේ චෝදනා ගැන ඇහුවම නීතිවේදිනී දර්ශණී ලහඳපුර ඒ ගැන ප්‍රතිචාරයක් පළකිරීම ප්‍රතික්ෂේප කළා. ව්‍යසනය වෙලාවේ තමන් මුහුණ දුන්න තත්වය සහ ගත්ත ක්‍රියාමාර්ග ගැන සම්පූර්ණ වාර්තාවක් හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ගේ සභාපතිත්වයෙන් තිබුන පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළත්, ඇය දුන්න වාර්තාව කාරක සභාවේ අවසාන වාර්තාවට ඇතුළත් කරලා නැති බව ඇය සඳහන් කළා. ඒ නිසා කාරක සභාවට දුන්න වාර්තාවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඇය ලිඛිතව ඉදිරිපත් කරන පූර්ණ ප්‍රතිචාරයත් නඩු විභාගයෙන් පස්සේ ප්‍රසිද්ධියට පත්කරන බව දර්ශනී ලහඳපුර පවසනව.
ඒ අතරෙ X Press Pearl නැව ලංකාවට එන අවස්තාවෙ මුහුදේ ගමන් කිරීමට නොසුදුසු තත්වයක (unseaworthy) තිබුණ බවට ඇය වෙනුවෙන් පෙනී හිටපු ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර තර්ක කළා.
වන්දිය ඩොලර් මිලියන 15යි!
කොහොම වුණත් මූලික අයිතිවාසිකම් පෙත්සම් කියන්නේ නෞකාවෙන් සම්පූර්ණ අලාභය ඉල්ලන සිවිල් නඩුවක් නෙවෙයි. වන්දි ඉල්ලන නඩුව ලංකාවේ පවරනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අනුමැතිය ඇතුව එවකට නීතිපතිවරයා ඒ නඩුව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයට අරගෙන ගියා. එහෙම කළේ ඇයි කියල නීතිපති දෙපාර්තමේන්තුව මතුකරන තර්ක පිළිගන්න අමාරුයි කියන එක තමා ලංකාවේ බොහෝ දෙනාගේ මතය.
ඒත් සිංගප්පූරුවේ නඩුව වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා. නඩුව සිංගප්පූරුවේ පවරන්න උපදෙස් දීපු Sparke Helmore ඕස්ට්‍රේලියානු නීතිඥ සමාගම වෙනුවෙන් වැය කරල තියන මුදල හෙලිකිරීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන විදියට ශ්‍රී ලංකාව ඒ සමාගමට ඩොලර් මිලියන 3.5 ක් ගෙවල තියෙනව.
නමුත් ඔබ දන්නවද මෙතෙක් ලංකාවට ලැබුණු සම්පූර්ණ වන්දිය ඩොලර් මිලියන 15කට වැඩි නෑ කියල?
ඒ කියන්නේ ඩොලර් මිලියන 15ක වන්දියක් ලබාගන්න ලංකාව අඩුම තරමින් ඩොලර් මිලියන 13.5ක්වත් වියදම් කරනව. (බොහෝ විට ඊට වැඩි මුදලක්) ඇත්තටම ඊට වඩා හොඳ නැද්ද මේ එක නඩුවක්වත් නොදා හිටිය නම්?
මේක නූල් බෝලයක් වගේ පැටළුණු හරිම සංකීර්ණ කතාවක්. මේ ඒ කතාවේ කුඩා සාරාංශයක් විතරයි. Pulitzer Centre ආයතනයේ Ocean Reporting Network කණ්ඩායමේ සාමාජිකයෙක් (Fellow) විදියට මේ ව්‍යසනය ගැන මාස ගණනක් කරපු ගවේෂණයේ නිරීක්ෂණ සහ නිගමන ඉක්මනින් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්.